සද්දෙට බයයි කොළ හෙල්ලෙන වෙලාවට
නෙත් දෙක සරයි බිය වද්දෙන..... කලාවට
යුද්ධෙට නොවෙයි දුව යන්නෙද ..ගුහාවට
ඇත්තම තමයි ගෙට එන්නෙද ....."පිඟානට"

දුවගේ තුරුලෙ මම හුරතලයේ ඉන්නම්
ඇකයේ රැඳිලා රස පදවැල් අහගන්නම්
පුතුගේ රුදුබවේ කෙණිහිලි විඳ ගන්නම්
මෙමගේ හුරු ලෙසේ හැම තැන බෙටි ලන්නම්

දත කට මදින්නට හැම දෙය හැපුවා කියා
කුමකට බනින්නෙද එය මගෙ හුරුව නියා
සතුටට දුවන්නට එහෙ මෙහෙ යන්න කියා
කෝමට හිතන්නට මේ ගෙයි ඉඩද.... මෙයා

තිබහට වතුර කෑමට දෙය සොයා යමී
නවතින තැනක හිත උඳු පියලියද කමී
තනිකම මකන ඇය ළඟ ජීවිතය ....දෙමී
හුරුලෙස මටම හිතු හිතු තැන බෙටිද ලමී

කූඩුව මටද මට හිමි නැති රුදුරු ලොවේ
කීවට කවුද අසනුයේ නිදහසද නොවේ
"මානන බැලුම්" මිය යන බව දනිමි දැවේ
කීමට දහස් දෙය ගොළු කර ගනිමි මුවේ

මිනිසා දිනෙක වැසුවළු වනපෙත්.... මැද්දේ
කවදා කොහොම ආවද මෙහෙමත්... සද්දේ
රවටා අපිව ගෙනවිත් දෙන වද..... ලද්දේ
බෙටිලා තැනක මිනිසුනි මොකටද සද්දේ

ගහ කොල අහස ගඟ දිය .....වාසනාවන්
පැනයමි දුවමි නිදහස මට...... මනාවන්
සූසැට ඇතත් මිනිසුනි නෙක..... කලාවන්
නොදනිද මියෙන එක අගෙ මැද ප්‍රියාවන්

සඳවත මැද්දේ රුව මැව්වේ අගෙම .......නිසා
බණ පද මැද්දේ ඔබ හිටියේ එයම.......... අසා
හිමිකර ගත්තේ කිම ඉන්නෙම් දෙනෙත....... වසා
කුමකට යුද්ධේ නැත්තේ මට හිතෙද .... තොසා

මිහිකත හිමිය සමතැන හැමටම ඇත්තේ
කොටුකර ගන්න ඔබ හට අවසර නැත්තේ
වනසිරි හැරිය දුක ඇත්නම් ඔබෙ සත්තේ
යමි අපි එකට ඉමු සමගිව වන මත්තේ


ප්‍රියන්ති හංසමාලි 

දුරුතු පෝදා කැළණි මළුවේ සුදු වතින් සැරසි 
මමයි ඔබ ළඟ පෙරුම් පුරනා අහිංසක... යුවති

තබමි පියවර ඔබ ලගින් ගෙන රත් නෙලුම් සුපිපි 
සිහින සිතුවම් අදිමි මනසින් බැති සිතින් පෙහෙවී

උතුම් පැතුමන් හදේ රදවා කුසලටම...... නතුවී 
පහන් එළිවැට දැල්වුනා දෙන් සිත කිලිටි.. දුරුවී

....මාවි.....

මාධවී විජේසිංහ 

~පිය සෙනෙහස ~~~
හිරු සඳු ඔබය ඝනදුර පිරි මගේ........... ලොවේ
මොළකැටි මුවද සිපගමි පුත සෙනේ..... මැවේ
දැක ගනු පිණිස පියඹමි සොය සොයා..... භවේ
තිලොවම මගෙය ඔබ ළඟ මගෙ අමද ..... සුවේ

කිරි කැටි සිනහ පිනවයි හද ලොවම...... නැවේ
මුදු රස බසද සනසයි හිත සතුට ............ දෙවේ
දුව දුව වැටෙන නැගිටින යුරු සිතෙහි..... මැවේ
කවිකම මොටද වැණුමට බැරි මගෙම ...... කවේ

"තා තා" කියා පළමුව ඇමතුව .......... දවසේ
නෙත් බොඳ වුණා මපුතුණි කාටත් ... රහසේ
මා රජ වුණා කිරුළද පළඳා ............ නිවසේ
ඇත්තයි සිතේ අනගිම වදනයි............සුබසේ

නවතනු පිණිස නුඹගේ එක කඳුළු............. බීඳක්
තබනෙමි තිලොව පාමුල මට නොමැත .....සැකක්
මවනෙමි සිහින මතු බුදු වෙන පුතා ......... රජෙක්
තරයෙම වැළඳ ගමි පුතුනේ එයද .......... සැපක්


-ප්‍රියන්ති හංසමාලි 


පිං සහ පව්

නවත්තපන් ලොරිය
ඉදිරියේ ඇති නුග ගහ යට 
පඬුරක් තියමු 
දෙවියන්ගේ පාමුල 
මඟ දිගට තියනවා බාධක 
ඒවා වලකන්න කියමු

දෙවියන්ගේ පිහිටෙන් හරක් ටික 
ගෙනියන්න ලැබුනොත් පෝරකයට 
හොඳම හොර හරකාගේ මසින් 
දානයක් දෙනවා කියමු 
දෙවියන්ට හොඳ සාරෙට

හිල්මි සුපුන්



කොළඹ ගමයා ගේ සින්ඩිය     

කට හඬ

හසුරවමි නුඹ
ගැඹුරු ලෙස
ලයාන්විත ලෙස

මුහුදේ ගෝෂාවෙන්
කුරුලු හඬින්
කෑ ගසමි නුඹ විහිදුවා

ඉල්ලා අයිතීන්
මියෙන තුරු
නුඹෙන් වැඩ ගනිමි

හඬක් නොනගා සිටින
හැම මොහොතක ම
මා 
මළවුන් අතර නොවේ ද?

පාලිත සේනාරත්න
"තනි මම ගැහැනිය"
කාව්‍ය සංග්‍රහෙයන්